2010-12-26

බෝදිලිමා....

අද වනවිට නූතන නාගරික හා අර්ධ නාගරික සමාජයේ අසන්නට නොලැබුණද තාමත් "නූතන වසංගත" වලින් ඉඳුල් නොවූ ගැමි සමාජය තුළ බෝදිලිමා ගැන පැතිර පවත්නා අදහස්‌ හා ආරංචිසේම ප්‍රචලිතව පවත්නා කරුණු 100% ක්‌ම විශ්වාස කළ නොහැකි වුවද බොදිලිමා යනු සම්පූර්ණම මිත්‍යා විශ්වාසයක්‌ යයි ඉවත දැමීමට නොහැකි වන තරමටම ඒ සමාජයේ ඇතමුන් තුළ භීතියක්‌ හා සැකයක්‌ උපදවා ඇත. කිසිදු අයුරකින් නාගරීකරණයේ කිසිදු අවස්‌ථාවකට කිසිසේත්ම හසුනොවූ අන්ත ගැමි කතක්‌ වූ මියගිය මගේ මිත්තනියද බොහෝවිට මා හය හතර නොතේරෙන කුඩා දරුවකුව සිටි අවධියේ වරින්වර බෝදිලිමා ගෙන් ඇතැමුන්ට සිදුවුණායෑයි කියන අකරතැබ්බ ගැන ලොමු දැහැගන්වන වාර්තා ඉදිරිපත් කර ඇත්තීය.

බෝදිලිමා කලඑළි බසින්නේ අඳුරු රාත්‍රි කාලයේ වන අතර ඉතා බියකරු අප්‍රිය ජනක හ්... ම්.... හ්..... ම් යන ශබ්දය නැගීම උගේ සිරිතය. මේ ඇඟ කිලිපොලා යන හඬ බොහෝවිට සවන් වදින්නේ ළමා වයස ඉක්‌මවුවනට වන අතර ඒ පිරිමින්ට පමණක්‌ අනතුරු දායක වීම මෙහි ඇති සුවිශේෂි තාවයද වන්නේය. මේ හඬ සවන්වැකි කුමණ හෝ වික්‍රමයකින් අනතුරු නිරුපද්‍රිතව බේරි ආ බොහෝ පිරිමි මේ හඬ ගැන විස්‌තර කර ඇත්තේ ඒ හඬ වැඩිපුරම සාමාන වන්නේ අවිධිමත් දරු ප්‍රසූතයකදී අසරණ ගැබිණි මාතාවක්‌ නඟන බියකරු වේදනා පිරි දුක්‌ඛඃදායී හඬකට බවය.

බෝදිලිමා දුටුවා යයි කියන අය සමහර විටෙක ඌ වලසෙකු වැනි සතෙකු තරම් වන අන්දමකට බෝලයක්‌ පරිදි වකුටුවී දඩිබිඩි ශබ්දයක්‌ නගමින් පෙරළී ගියා යයි කීවද ඒ සතාගේ දෑස්‌ දෙකන් මුහුණ ඇඟපසඟ ආදිය ගැන නිවරදි විස්‌තරයක්‌ කිරීමට තරම් අසමත් වන්නේ අන් කිසි හේතුවක්‌ නිසා නොව බෝදිලිමා දුටු සැණින් සිහි එලවා ගත නොහැකි තත්ත්වයකට පත්වන බැවිනි.

බෝදිලිමා ගැන කියන සෑම දෙනකුම පාහේ කියන කතාව වන්නේ ගැබ් බරින් නිදහස්‌ වීමේ හෙවත් දරු ප්‍රසූතියේදී සිදුවන අකල් මරණයකින් පසු ඒ කාන්තාවන් බෝදිලිමා වී උපදින බවකි. එහෙත් දරු ප්‍රසූතියකදී මියයන සියලුම කාන්තාවන් බෝදිලිමා වන් වී ඉපදීම සිදුවෙතැයි කීම හෝ විස්‌වාස කිරීම මහා විහිළුවක්‌ වන්නේ නූතනයේ අප සමාජයේම සිදු කරනු ලබන නීතිවිරෝධි සමාජ විරෝධි ගබ්සා කිරීම් දෙස බලන විටය. ඒ අනුව බලතහොත් වසරකට අපේ සමාජයේම බෝදිලිමා වරුන් දස දහස්‌ ගණනක්‌ ඉපදිය යුතුය.

බෝදිලිමා ගැන කියෑවෙන රසවත් කතාද නැත්තේ නොවේ. මැරුණු ගැහැණියක්‌ බෝදිලිමකු වී නිවසට පැමිණි කල නූල් බෝලයක්‌ අවුල් කොට එය නිරවුල් කිරීමට ඒ භූතයාට දීමේ රසවත් කථාවක්‌ ගැමි වහරේ ඇත. ජීවිත කාලයම ලිහුවත් අවුල නිරවුල් කරගත නොහැකි නිසා ඒ මගින් බෝදිලි උවධුරෙන් ගැලවී ගත හැකි බව ඒ කතාවේ වැඩි දුරටත් පැවසේ. වින්නඹු මාතාව කැඳවා ගෙන ඒමට ගිය මිනිසකු ආන්ධකාර රාත්‍රියකදී තනිව යාමේදී බෝදිලිමකුට අසුවී ස්‌ථානෝචිත ප්‍රඥවෙන් ගැලවුණු කතාවක්‌ද ගැමියන් අතර වේ, වින්නඹු මාතාව සොයා තනිව ගිය ඒ අඳුරු රාත්‍රියේදී අතරමගදී හමුවූ බෝදිලිමකු මිනිසාගේ පිට පහුරු ගාන්නට පටන්ගත්තේලු. බෝදිලි උවදුරෙන් ගැලවෙන එක්‌ මගක්‌ කල්තියාම දැනගෙන සිටි ඒ මිනිසා තම වස්‌ත්‍රය ගලවා දමා උපන් ඇඳුමෙන්ම දුවන්නට වීලූ. බිමහොත් වස්‌ත්‍රයට මිනිසා යෑයි රැවටුන බෝදිලිමා වස්‌ත්‍රය බදා ගත්තේලු.

බෝදිලිමා හැම විටම පාහේ තරුණ විය ඉක්‌මවා යන කාන්තාවන්ට බිය බවද කියති. එසේ වන්නේ ගැහැණිය වයසත් සමග වඩා සටකපට ප්‍රයෝගකාරි දුෂ්ඨ හා රෞද්‍ර මූදේවියකට පරිවර්තනය වනවා යයි කියන නිසාද යන්න සොයා බැලිය යුතුය. බෝදිලිමකුට බියවූ අයට දෙන නොවරදින ප්‍රතිකාරය වන්නේ හොඳම වර්ගයේ කනේ පහරක්‌ බව ගැමියන්ගේ විශ්වාසයය. මෙහි වඩා විශ්මය ජනක සිද්ධිය වන්නේ ඒ අතුල් පහර ගැහැණියකගෙන්ම ලැබිය යුතුය යන්න විශ්වාස කිරීමය. පහරේ වේගවත් කම අනුව ආතුරයාට නිතැතින්ම ඇතිවන්නේ බෝදිලිමාට වූ බියට වඩා පහරේ වේදනාවත්, ලඡ්ජාවත්, පලිගැනීමේ චේතනාවක්‌ නිසා ඔහුගේ බෝදිලිමාට බිය වූ මානසික තත්ත්වය වෙනත් අතකට පෙරැළී බෝදිලි මානසිකත්ව රෝගයෙන් ඔහුට මිදෙනු හැකිවිය හැක.

සමහර ගැමි විශ්වාසයනට අනුව නම් බෝදිලිමාට වෙඩිතබා මරා දැමිය හැක. මේ සඳහා කළ යුතුවන්නේ බිය නොහඳුනන හැඩි දැඩි පිරිමියෙකු ගිනි අවියක්‌ද රැගෙන මල්පැලක්‌ ගසා එහි දල්වන ලද පොල්තෙල් පහනකුත් බුලත් කොළ කීපයකුත් තබා විමසිල්ලෙන් සිටීමය. මැදියම් රැය ළඟා වන විට පහන් එළිය දකින බෝදිලිමා මල්පැල වෙත පැමිණ එහි ඇති බුලත් කොළ ගෙන පහන් දැල්ලෙන් රත්කර තමාගේ බඩ රත්කරන්නේලු. ඒ මොහොතේ ක්‍රියාත්මක වී බෝදිලිමාට වෙඩි තැබිය යුතු අතර එසේ කර පසුවදාම බැළුව විට මල්පැල අසල වැටී මරුමුවට පත්ව සිටින කටුස්‌සෙකු දැකිය හැකිවන්නේලු.

පරම්පරාගතව පැවතෙන නිසා හෝ විශ්වාසයන් නිසා හෝ විචාර බුද්ධියෙන් තොරව ගැමියන් කියන මේ බෝදිලි වර්ණනාව බොහෝ විට ඔවුන් කියන්නේ තමන් අත්දුටු සිද්ධිදාමයක විස්‌තරයක්‌ම වන පරිදි හෙයින් සමහර විට අසන්නා තුළ කිසියම් බියක්‌ චකිතයක්‌ මෙන්ම යම්කිසි ප්‍රමාණයක අන්ධ විශ්වාසයක්‌ද ගොඩනැඟීමට ඉඩ ඇත. සමාන්‍ය ජන ජීවිතයේ දිවා කාලයේ වුව සාමාන්‍යයෙන් නිතර දෙවේලේ දකින කටුස්‌සකුට වඩා පැහැයෙන් හා ප්‍රමාණයෙන් වෙනස්‌ හිරු එළියට නිරාවරණය වූ විට වරින් වර පැහැය වෙනස්‌ කරනා කටුස්‌සෙකු දුටුවිට අසරණ ගැමියෝ විශ්වාස කරන්නේ ඒ රාත්‍රිකාලයේ බෝදිලිමකු වූ සතකු දිවාකාලයේ කටුසු වෙස්‌ ගත් බවය.

අසරණ අහිංසක අව්‍යාජ ගැමියන්ගේ මේ විශ්වාස නිසා රාත්‍රි කාලයේ අයාලේ යන නිසාචර පිරිමින්ගේ ගමන් බිමන් වලටත් අසම්මතයේ බැඳී සමාජ විරෝධී ලෙස හැසිරෙන පිළිකුල් චරිත ඇති ගැහැණුන්ටත් කිසියම් ප්‍රමාණයක වැට කඩොලු බැඳුන බව නම් පැහැදිලිය. මෑත කාලයේ දී නම් බෝදිලිමකු ගැන අසන්නට ලැබුණ බවක්‌ වාර්තා වී නොමැත. එසේ වී ඇත්තේ සමහර විට අව්‍යාජ ගැමිසිරිත් විරිත් ඇදහිලි විශ්වාස තුට්‌ටු දෙකේ තොරම්බල් සංස්‌කෘතියට හසුවීම නිසා හෝ බෝදිලිම වරු නැතුවට පසුගිය කාලය පුරාවට කොටි, කලුකොටි, මුහුදු කොටි පමණක්‌ නොව අද දවසේ පවා දඩයම් බල්ලන්ගේ ජන ජීවිතයට වන මහත් හානිය නිසාම වියහැක.

දිවයින - ආර්. සී. වතුහේන.

ප/ලි
"අව්‍යාජ ගැමියා"
"තොරොම්බල් සංස්කෘතිය"
"නූතන වසංගත" ආදී වචනවලින් ලේඛකයා තම මනෝව්‍යාධිය නොපෙන්වා මෙම කරුණු සාහිත්‍යමය රසයක් ලබා දීමේ අරමුණින් සිදුකලා නම් වටිනාකම කියා නිම කර නොහැකි වනු ඇත. හුදෙක් මිත්‍යා විශ්වාසයක් වුවත් ඕනෑම අයෙකුට රස විඳිය හැකි කතාවකි. (" පිටස්තරයා ")

2 comments:

පිටස්තරයා said...

"අව්‍යාජ ගැමියා"
"තොරොම්බල් සංස්කෘතිය"
"නූතන වසංගත" ආදී වචනවලින් ලේඛකයා තම මනෝව්‍යාධිය නොපෙන්වා මෙම කරුණු සාහිත්‍යමය රසයක් ලබා දීමේ අරමුණින් සිදුකලා නම් වටිනාකම කියා නිම කර නොහැකි වනු ඇත. හුදෙක් මිත්‍යා විශ්වාසයක් වුවත් ඕනෑම අයෙකුට රස විඳිය හැකි කතාවකි.

ආගන්තුකයා | Stranger said...

මටත් ඕකම ඔළුවට ආවා.. ඒත් මුල් පිටපත වෙනස් කරන්න බැරි නිසා එහෙමම තියෙන්න ඇරියා.. ඔය ටික අතෑරලා ඕනි ටික ගත්තානම් හරි..