2010-07-23

මුරලි නම්බු පිටින් ගිය වග..

මුරලිව මට මතක තිබුනේ මුරලිට අවුරුදු විසිදෙකේදීය.. එතකොට මට අවුරුදු දහයක් වෙන්නට ඇත.. පාලිත පෙරේරා වීදුරුවක වුනත් දඟකවන්න පුළුවන් කියා මුරලිට කිව්වා මතකය. මුරලිගේ අන්තිම තරඟය ගැන මම අහනකොට මට අවුරුදු විසිපහකි. තවමත් මුරලි වීදුරුවක වුවද දඟකවයි. තවමත් මුරලිට ඉනිමක විකට් පහක් ගැනීම ගේමක් නැත. ඒත් මුරලි සමුගත්තේය.
පහල ඉඳන් සමුගන්නවා වගේ නෙවෙයි පීක් එකේ ඉඳන් සමුගන්න එක 
කවුද එකෙක් එහෙම කිව්වා මතකය. ඇත්ත.. මුරලි පීක් එකේ සිටියේය. මුරලි එක්ක ලංකාවට එච්චර බැඳී ඇත්තේ ඒ නිසාය.. මුරලි ලාංකිකයෙකි. මුරලි මිනිසෙකි. අවසානයේ මුරලි නියම ක්‍රීඩකයෙකු බවද පෙන්වා දී සමුගත්තේය. ස්තූතියි මුරලි..

මම...

මටම නොපෙනෙන
මටම හිතාගන්න බැරි
මම කවුද කියා
තාමත් හොයන
මම.....

2010-07-19

ඇය යන්න ගිය වග..

එදා දවසේ ඒ මොහොතේ එතන ඉන්නට තරම් පව්කාරයෙකු වූ මමත් වචනයක් ලියා තබමි. උදේ පාන්දර කඳුලු පුරෝගත්තු මලී මම දොර ඇරපු ගමන්
“ලසියො අපේ පැටී නැතිවුනානේ බං..“ 
කියන කොට මම ඈතට වෙලා පැටී දිහා බලන් හිටියේ මූ බොරුවක්වත් කරනවාද කියලා.. නිශාචරයෙක් වගේ රෑ දොලහට ඇගේ ගෙදරට ගොඩවුන මගේ ඇඟට වෙනදා වගේ පැනපු විදිහට මම හීනෙකින්වත් ඒ වචන පහ උදේ පාන්දර ඇහෙයි කියලා හිතුවේ නෑ.
                මිනිස් සම්බන්ධතා ගැන පට්ට උදාර විදිහට කතා කරන මට පැටී අළුත් අත්දැකීමක් වුනේ පැටී තවත් එක් බැල්ලක් නොවුන නිසා වෙන්න ඇති... නැගිටපු ගමන් ලක්ෂ්මන් අංකල් එක්ක පැටීගේ වල කපනකොට මම ලක්ෂ්මන් අංකල්ගෙ හිතේ තියෙන දුක මනින්න බාල උත්සාහයක් දරලා අන්තිමට ඒක අතෑරියේ ඒක ගොන් වැඩක් කියලා හිතුන හින්දා... සුනී ඇන්ටිගේ දහවල් වරුවේ තනිය මකපු පැටී සුනී ඇන්ටිව තනි කරලා දාලා අපිවත් දන්නෙ නැති තැනකට යන්න ගිහින්...
               පැටීගේ දුක බෙදාගන්න සනී මාමා, තුෂාර අයියා, ගංගා, මම එකම දේ රෑ එකොලහ වෙනකම් කියව කියව හිටියේ පැටී නැතිවුන දුක හැමෝටම දැනුන හින්දා වෙන්න ඇති, වෙලාවකට ඒක ලක්ෂ්මන් අංකල්ට එල්ලවුන බැණුමක්... වෙලාවකට හිටපු ගමන් එන සුසුමක්... අතරින් පතර වතුර එකක් බොන්න කුස්සියට හොම්බ දාපු මට කඳුලු පුරෝගත්තු සුනී ඇන්ටිව දැකලා සනී මාමා කිව්වා වගේ “දැන් අඬලා මක්කොරන්නද“ කියලාවත් නොකියා බිම බලාගෙන මාරු වුනේ ඒ බැඳීම තක්සේරු කරන්නට තරම් මිම්මක් මම ලඟ නොතිබුන නිසා වෙන්න ඇති.
               පැටී යන්න ගිහින් අන්තිම වෙනකම් අපිත් එක්ක හිනාවෙලා හිටපු පැටී හිටිවනම ඇස් දෙක පියාගෙන. පැටීගෙ වලේ ගහපු හඳුන්කූරු නිවිලා ගිහින් අළු දැන් පොලවට පස්වෙලත් ඇති ඒත් ඊලඟ වතාවෙත් මම ඒ ගෙදරට පස් පාගනකොට මගේ ඇඟට පැනපු පැටී නැත්තෙ මොකද කියලා මතක නැතිවෙලා හිතෙයි. ටික කලකින් ඒකත් පුරුදුවෙයි ඒත් පැටී ඒ හතරමායිමේ හැමදාම ජීවත් වෙයි..

2010-07-17

යසෝදරා

සිද්ධාර්ථ නික්ම ගියේය
යසෝදරා තනිවිය
හොදවැඩේ යසෝදරා උඹට
මාව අමතක කරලා
රජ සැප හොයාගෙන ගියාට 
(අරවින්ද රත්නායක බූන්දියට ලියපු එකක්)

2010-07-12

අට්ටාපිටියෙ ඔය අසබඩ

රොඩී සුරූපිනියන්ගේ අඟපසඟෙහි අසිරිමත් සුන්දරත්වය, ඔවුන්ගේ සාම්ප්‍රදායික ඇඳුමින් ඉඩ සලසා ඇති අඩ නිරුවත් පෙනුම සමග සංයෝග වීමෙන් උද්දීපනය වන ඔවුන්ගේ මන්මත් කරවන සරාගික පෙනුම, උසස් කුලවල සාමාන්‍ය ජනයාගේ පමණක් නොව, ඇතැම් වංශවත් රදළයින්ගේ පවා සිත් සසල කරවීමට සමත් වූ බැවි පැරණි සාහිත්‍යෙයන් හෙළි වේ. අට්ටාපිටිය ඔය අසබඩ එබඳු රදළයෙකුට මුන ගැහුණු රොඩී කැකුළියක පිළිඹඳව එම කුලීනයා තුල පහළව ඇත්තේ මෙවන් හැඟීමකි.

අට්ටාපිටියෙ ඔය අසබඩ සඳුන් ව නේ
හුලවාලියක් දැකලා සිත සලිත වු නේ
පිපුණු මලක් නම් තලලා මිස නොය නේ
කැකුළු මල නිසා යඥ්ඥම් ළඳ ලිය නේ

එයට ඈ දුන් පහත පිලිතුරින් හෙළි වන්නේ උසස් යැයි පිලිගත් සමාජයේ අන්ත පරිභවයට සහ පිලිකුලට පාත්‍රව සිටින තමා වැන්නියක එබඳු කුලීන උත්තමයෙකු අතින් කෙලසීමට පත් විය හැකි නම්, එය මහත් භාග්‍යයක් ලෙස ඇය සැලකූ බවකි.

සි සී වැඩි දවස් නැත මල පිපෙන්න ට
ඔබා තන තිසර පට නැත බඳින්න ට
පිපුණු මලක් නම් නැත නූඹට දෙන්න ට
කැකුළු මල තලා පලයන් පිපෙන්න ට

උපුටා ගැනීම --- ගාඩි ජන වත , චන්ද්‍ර ශ්‍රී රණසිංහ ---

2010-07-06

බේබද්දෝ

ඔන්න එක දවසක් යාළුවො දෙන්නෙක් හොඳටෝම බීලා. උතුර දකුණ සොයා ගන්න බෑ. හරියට පහුවදාට රටේම අරක්කු තහනම් කරනවා කියල හිතාගෙන තමයි බීල තියෙන්නේ. හැබැයි මේ දෙන්න තැබෑරුමෙන් නැගිටල යන්න හදන කොට තමයි මුණ ගැහුණේ
දැන් දෙන්නට දෙන්නා බදාගෙන පයින් ඇවිද ගෙන යනව ගෙදර යන්න. ඔහොම ගිහිල්ල ගෙයක් ළඟ නතර වුණා මෙන්න මෙහෙමයි දෙන්නගේ කතා බහ. නැත්නම් සංවාදේ.

1 මිත්‍රයා - එහෙනම් මචං මම යනවා. චෙරියෝ ගුඩ් නයිට්.
2 මිත්‍රයා - උඹ කොහේ යන්නද? ඔය තියෙන්නේ මගේ ගේ
1 මිත්‍රයා - පිස්සුද? උඹට වැඩියි මේක මගේ ගෙදර.
2 මිත්‍රයා - මට නෙවෙයි පිස්සු ඔයාට. මේක මගේ ගේ. උඹේ ගේ කියල කොහොමද ඔප්පු කරන්නේ.
1 මිත්‍රයා - හරි මේ ගෙදර ඉන්නේ මගේ වයිෆ්. ඊළඟට පුතා. අපි තුන් දෙනා තමයි ඉන්නේ.
2 මිත්‍රයා- ඔයාට පයිත්තියන්. මේ ගෙදර ඉන්නේ අම්මයි - තාත්තයි - මමයි හරිද?
1 මිත්‍රයා- හොඳයි මම ද උඹ ද හරි කියල බලන්න දොරට තට්ටු කරමු. සොරි සොරි බෙල් එක ගහමු.

ඔන්න ඉතින් බෙල් එක ගැහැව්වා. නෝනා කෙනෙක් දොර ඇරියා.
නෝනා - හනේ! හනේ!
ලැජ්ජ නැතිකම අද තාත්තයි
පුතයි දෙන්න එකට බීල නේද?
 (ටොයියා එවපු මේල් එකක තිබුනු කතාවක්)

2010-07-05

අසම්මතවාදියා -ෂන් පොල් සාත්‍ර

"සාම්ප්‍රදායික මාතෘ ප්‍රේමය, ගැහැනියකට කරන ආලය ඔහුට නො‍තේරෙන බසකි. වංචාවෙන් පිරී තිබූ ඒ බස භාවිත කිරීමට ඔහු උත්සහ කළේ නැත. මර්සෝ, සුචරිතයෙකු හෝ දුෂ්චරිතයකු නොවේ. ඔහු කිසිසේත් කිසියම් කොට්ඨාසයකට ඇතුළත් කළ නොහැකිය. එහෙත් ඔහු අසම්මත චරිතයකි. අසම්මත යන්නෙන් අන්තගාමී ගුඪත්වයක් ප්‍රකට නොකරේ. මිනිසාට ‍හෝ ලෝකයට ආගන්තුක අසම්මතයක් මෙහි නැත. මෙම චරිතය වනාහී මිනිසකු වශයෙන් මිනිස් ලෝකයේ ජීවත්වීම සඳහා අවශ්‍ය වූ අසම්මත තත්ත්වයකි. මෙම චරිතය මිනිසත්බව වසා සිටින අන්ධකාරයට සියුම් ආලෝකයකි. තර්කයෙන් පැහැදිලි කළ හැකි ලෝකය අපට හුරුපුරුදුය. එහෙත්, සැණෙකින් කල්පිතයන් සහ ආලෝකය අතුරුදෙහන් වූ ලෝකයක මිනිසාට තමා අමුත්තෙකි. නොකඩවා පවතින ඒකාකාරී ජීවිත රිද්මය – බලාපොරොත්තු කඩවීම – ආගම විසින් මිනිසා රවටනු ලැබීම – යන සියලු දෙයින්ම මිනිසා අපරිමිත අසහනයකට පත්කරනු ලබයි. කායික ජීවිතයේ උද්වේගකර බවත්, මරණයෙහි නියත බවත් අතර ගැටුම මිනිසා අසරණ බවට පත්කරයි. මර්සෝගේ චරිතය එම අසරණ කිරීමට එරෙහි භවසත්තාවාදී දාර්ශනික සාක්ෂියකි."
"හෙටයැ’යි දිනයක් නැත. අප හැම දිනම මිය යන බැවිනි. කිසියම් ලොවක කිසියම් මොහොතක මිනිසා එම ලොවට පිටස්තරයකු සේ හැඟේ. එම කූඩුවෙන් පලායෑමට දොරටුවක්නැත. බලාපොරොත්තු කඩවීම හා මමත්වය ඔහුට අවාසනාත ළඟාකරයි. ඔහු ජීවත් වන්නේ ලෝකය ඉදිරියේ හෝ පසුපසයි. ඔහු තමා විසින්ම දිවි තොර කරගන්නෙකි."
"අසම්මතවාදියා ඔහු විසින්ද දිවි තොර කර නොගනී. ඔහුට ජීවත්වීමට අවශ්‍යය. සම්මතයන් ඔහුට අවශ්‍ය නොවේ. සම්මත කිසිවක් ඔහුට නැත. බලාපොරොත්තුව මායාවකි. හෙට ගැන සිතීම නිෂ්ඵලය. වගකීමෙන් තොර ඝාතනයට ඔහු එරෙහි වේ. මිනිසුන් අතර මිනිසෙකු සේ ජීවත්වීමට පෙ‍ළඹේ. මර්සෝ (Indifference) උපේක්ෂාශීලියෙකි."
"අසම්මතවාදියා වර්තමානයේ මිනිසෙකු වශයෙන් ජීවත්වීමට උත්සහ දරයි. ඒ සඳහා අහිංසක අරගලයක යෙදෙන මර්සෝ අහිංසකයකු මිස වීරයෙක් නොවේ. ඔහු මිනීමරුවකු වන්නේ ඔහු නොඉවසන සමාජ ක්‍රීඩාවේ නීතිරීති නොසැලකීමෙනි. ඔහු ජීවත්වන්නේද ආගන්තුකයන් අතර ආගන්තුකයකු ලෙසිනි. ඔහුටද ඔහු ආගන්තුකයෙකි. මරී, ‘අනියම් බිරිඳ’ ඔහුට කැමති වන්නේද ඔහුගේ අසම්මත ස්වභාවය නිසාය. සියලු දෙනාම ඔහු පිළිකෙව් කරන විට, ඔහුට අවමන් කරන විට ඇය ඔහුට ආදරය කරයි."
"එහෙත් අවසානයේ අපි එම ආගන්තුකයා සමඟ බැඳෙමු. බැඳී සම්මත ලෝකයට ආගන්තුක වෙමු."

ෂන් පොල් සාත්‍ර(ඇල්බෙයා කැමූගේ The Outsider පිටස්තරයා හි එන මර්සෝ ගැන)
‘රාවය’ 16 August 2009 on ‘අවකාශය’ අතිරේකය