“ලසියො අපේ පැටී නැතිවුනානේ බං..“කියන කොට මම ඈතට වෙලා පැටී දිහා බලන් හිටියේ මූ බොරුවක්වත් කරනවාද කියලා.. නිශාචරයෙක් වගේ රෑ දොලහට ඇගේ ගෙදරට ගොඩවුන මගේ ඇඟට වෙනදා වගේ පැනපු විදිහට මම හීනෙකින්වත් ඒ වචන පහ උදේ පාන්දර ඇහෙයි කියලා හිතුවේ නෑ.
මිනිස් සම්බන්ධතා ගැන පට්ට උදාර විදිහට කතා කරන මට පැටී අළුත් අත්දැකීමක් වුනේ පැටී තවත් එක් බැල්ලක් නොවුන නිසා වෙන්න ඇති... නැගිටපු ගමන් ලක්ෂ්මන් අංකල් එක්ක පැටීගේ වල කපනකොට මම ලක්ෂ්මන් අංකල්ගෙ හිතේ තියෙන දුක මනින්න බාල උත්සාහයක් දරලා අන්තිමට ඒක අතෑරියේ ඒක ගොන් වැඩක් කියලා හිතුන හින්දා... සුනී ඇන්ටිගේ දහවල් වරුවේ තනිය මකපු පැටී සුනී ඇන්ටිව තනි කරලා දාලා අපිවත් දන්නෙ නැති තැනකට යන්න ගිහින්...
පැටීගේ දුක බෙදාගන්න සනී මාමා, තුෂාර අයියා, ගංගා, මම එකම දේ රෑ එකොලහ වෙනකම් කියව කියව හිටියේ පැටී නැතිවුන දුක හැමෝටම දැනුන හින්දා වෙන්න ඇති, වෙලාවකට ඒක ලක්ෂ්මන් අංකල්ට එල්ලවුන බැණුමක්... වෙලාවකට හිටපු ගමන් එන සුසුමක්... අතරින් පතර වතුර එකක් බොන්න කුස්සියට හොම්බ දාපු මට කඳුලු පුරෝගත්තු සුනී ඇන්ටිව දැකලා සනී මාමා කිව්වා වගේ “දැන් අඬලා මක්කොරන්නද“ කියලාවත් නොකියා බිම බලාගෙන මාරු වුනේ ඒ බැඳීම තක්සේරු කරන්නට තරම් මිම්මක් මම ලඟ නොතිබුන නිසා වෙන්න ඇති.
පැටී යන්න ගිහින් අන්තිම වෙනකම් අපිත් එක්ක හිනාවෙලා හිටපු පැටී හිටිවනම ඇස් දෙක පියාගෙන. පැටීගෙ වලේ ගහපු හඳුන්කූරු නිවිලා ගිහින් අළු දැන් පොලවට පස්වෙලත් ඇති ඒත් ඊලඟ වතාවෙත් මම ඒ ගෙදරට පස් පාගනකොට මගේ ඇඟට පැනපු පැටී නැත්තෙ මොකද කියලා මතක නැතිවෙලා හිතෙයි. ටික කලකින් ඒකත් පුරුදුවෙයි ඒත් පැටී ඒ හතරමායිමේ හැමදාම ජීවත් වෙයි..
4 comments:
පැටී ගැන ඇත්තටම දුකයි.
සමහරැ ගියාට හිතේ කොනක හරි හැමදාම රැදෙනවා. මිනිසෙක් වුනත් සතෙක් වුනත් එහෙමයි.
කණගාටුයි.
හරිම දුකයි පැටී ගැන......
සතෙක් උනත් අපිට ලං උනාම දැනෙන්නේ මගේම, අපේම, පවුලෙම කෙනෙක් කියලයි...........එහෙම කෙනෙක්ගේ සමුගැනීම දරාගන්න හරි අමාරුයි.......
ඉහත ඇනෝනිමස් ගොන් ආතල් කමෙන්ට් දෙක මට ඉවත්කිරීමට සිදුවිය. ඒ පිළිඹඳව මගේ කණගාටුව..
Post a Comment