2010-07-05

අසම්මතවාදියා -ෂන් පොල් සාත්‍ර

"සාම්ප්‍රදායික මාතෘ ප්‍රේමය, ගැහැනියකට කරන ආලය ඔහුට නො‍තේරෙන බසකි. වංචාවෙන් පිරී තිබූ ඒ බස භාවිත කිරීමට ඔහු උත්සහ කළේ නැත. මර්සෝ, සුචරිතයෙකු හෝ දුෂ්චරිතයකු නොවේ. ඔහු කිසිසේත් කිසියම් කොට්ඨාසයකට ඇතුළත් කළ නොහැකිය. එහෙත් ඔහු අසම්මත චරිතයකි. අසම්මත යන්නෙන් අන්තගාමී ගුඪත්වයක් ප්‍රකට නොකරේ. මිනිසාට ‍හෝ ලෝකයට ආගන්තුක අසම්මතයක් මෙහි නැත. මෙම චරිතය වනාහී මිනිසකු වශයෙන් මිනිස් ලෝකයේ ජීවත්වීම සඳහා අවශ්‍ය වූ අසම්මත තත්ත්වයකි. මෙම චරිතය මිනිසත්බව වසා සිටින අන්ධකාරයට සියුම් ආලෝකයකි. තර්කයෙන් පැහැදිලි කළ හැකි ලෝකය අපට හුරුපුරුදුය. එහෙත්, සැණෙකින් කල්පිතයන් සහ ආලෝකය අතුරුදෙහන් වූ ලෝකයක මිනිසාට තමා අමුත්තෙකි. නොකඩවා පවතින ඒකාකාරී ජීවිත රිද්මය – බලාපොරොත්තු කඩවීම – ආගම විසින් මිනිසා රවටනු ලැබීම – යන සියලු දෙයින්ම මිනිසා අපරිමිත අසහනයකට පත්කරනු ලබයි. කායික ජීවිතයේ උද්වේගකර බවත්, මරණයෙහි නියත බවත් අතර ගැටුම මිනිසා අසරණ බවට පත්කරයි. මර්සෝගේ චරිතය එම අසරණ කිරීමට එරෙහි භවසත්තාවාදී දාර්ශනික සාක්ෂියකි."
"හෙටයැ’යි දිනයක් නැත. අප හැම දිනම මිය යන බැවිනි. කිසියම් ලොවක කිසියම් මොහොතක මිනිසා එම ලොවට පිටස්තරයකු සේ හැඟේ. එම කූඩුවෙන් පලායෑමට දොරටුවක්නැත. බලාපොරොත්තු කඩවීම හා මමත්වය ඔහුට අවාසනාත ළඟාකරයි. ඔහු ජීවත් වන්නේ ලෝකය ඉදිරියේ හෝ පසුපසයි. ඔහු තමා විසින්ම දිවි තොර කරගන්නෙකි."
"අසම්මතවාදියා ඔහු විසින්ද දිවි තොර කර නොගනී. ඔහුට ජීවත්වීමට අවශ්‍යය. සම්මතයන් ඔහුට අවශ්‍ය නොවේ. සම්මත කිසිවක් ඔහුට නැත. බලාපොරොත්තුව මායාවකි. හෙට ගැන සිතීම නිෂ්ඵලය. වගකීමෙන් තොර ඝාතනයට ඔහු එරෙහි වේ. මිනිසුන් අතර මිනිසෙකු සේ ජීවත්වීමට පෙ‍ළඹේ. මර්සෝ (Indifference) උපේක්ෂාශීලියෙකි."
"අසම්මතවාදියා වර්තමානයේ මිනිසෙකු වශයෙන් ජීවත්වීමට උත්සහ දරයි. ඒ සඳහා අහිංසක අරගලයක යෙදෙන මර්සෝ අහිංසකයකු මිස වීරයෙක් නොවේ. ඔහු මිනීමරුවකු වන්නේ ඔහු නොඉවසන සමාජ ක්‍රීඩාවේ නීතිරීති නොසැලකීමෙනි. ඔහු ජීවත්වන්නේද ආගන්තුකයන් අතර ආගන්තුකයකු ලෙසිනි. ඔහුටද ඔහු ආගන්තුකයෙකි. මරී, ‘අනියම් බිරිඳ’ ඔහුට කැමති වන්නේද ඔහුගේ අසම්මත ස්වභාවය නිසාය. සියලු දෙනාම ඔහු පිළිකෙව් කරන විට, ඔහුට අවමන් කරන විට ඇය ඔහුට ආදරය කරයි."
"එහෙත් අවසානයේ අපි එම ආගන්තුකයා සමඟ බැඳෙමු. බැඳී සම්මත ලෝකයට ආගන්තුක වෙමු."

ෂන් පොල් සාත්‍ර(ඇල්බෙයා කැමූගේ The Outsider පිටස්තරයා හි එන මර්සෝ ගැන)
‘රාවය’ 16 August 2009 on ‘අවකාශය’ අතිරේකය

3 comments:

Jay said...

අහ්, පිටස්තරයා නේද?
බැලුවද??

අතරමැදියා said...

අපි අතර කොච්චාර අසම්මත මිනිසුන් ඉන්න ඇත්ද ? අසම්මත යයි කියා ගත් මිනිසුන් ම කොච්චර ඉන්නවද ..

Anonymous said...

Albert Camus ගේ L’Étranger (The Stranger or The Outsider *) කෘතිය ගැන කතාබහක් 2010 ජුලි 29 බ්‍රහස්පතින්දා සවස 06 ට ලඬකා අක්ෂයේ දී.